Saturday, April 26, 2025
Follow Us
පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීමට ගතහැකි පියවර පිළිබඳව සාකච්ඡාවක්

පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීමට ගතහැකි පියවර පිළිබඳව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය අනුකාරක සභාව සාකච්ඡා කරයි

 -මාස දෙකක් තුළ ප්‍රවාහන අමාත්‍යාංශයේ යෝජනා ලබා දෙන ලෙසටත් දැනුම් දෙයි

-පොදු ප්‍රවාහන රථවල යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් අවධානය

 -පොදු ප්‍රවාහන රියදුරන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා වූ යෝජනා මාසයක් තුළ ලබා දෙන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස්

බස්රථ මගීන්ගේ ආරක්ෂාව ඇතුළු පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින නෛතික රාමුව ශක්තිමත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පිහිටුවන ලද “ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම” සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අනු කාරක සභාවේ දී සාකච්ඡා විය.

එම අනුකාරක සභාවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් 2025.03.09 වැනි දින එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව අවධානය යොමු විය.

මේ අනුව අනු කාරක සභා රැස්වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ වූ අතර පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් සතු අදහස් අනු කාරක සභාව වෙත ලබා ගැනීම සිදු විය.

පොදු ප්‍රවාහන බස් රථ සඳහා යෝග්‍යතා සහතික ලබා ගැනීමේ ක්‍රියාපාටිය විධිමත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ දී අවධාරණය කෙරිණි. 

මෝටර් වාහන පනතේ 29 වගන්තිය අනුව බස්රථ, ලොරි රථ සහ ගිලන්රථ සඳහා මෙම යෝග්‍යතා සහතික නිකුත් කරන බවත් එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව පළාත් සභාවල ලියාපදිංචි ගරාජ මගින් සිදුවන බවත් නිලධාරීහු පැවසූහ. එම යෝග්‍යතා සහතික නිකුත් කරන ගරාජවල ප්‍රමිතිය, විශ්වසනීයත්වය ඇතුළු ගැටලු පවතින බැවින් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභා සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.

මෝටර් වාහන පනතේ 19 වගන්තිය යටතේ පවතින “තැනීම් නියෝග” ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. මේ අනුව නව බස්රථ ගෙන්වීමේදී මෙන්ම පවතින බස්රථ වල මගී ආරක්ෂාව සඳහා අසුන් අතර නියමිත පරතරය, අනවශ්‍ය උපාංග ඉවත් කිරීම, ආසන පටි පැළදීම ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මේ අනුව අදාළ දත්ත සහ තොරතුරු මත පදනම්ව පොදු ප්‍රවාහනයේදී මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු පියවරයන්ට අදාළ යෝජනා සහිත වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශ‍ය මගින් සකස් කොට මාස දෙකක් තුළ ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දෙන ලෙස අනුකාරක සභා සභාපතිනිය නිලධාරීන්ට දැනුම් දුන්නාය.

එසේම පොදු ප්‍රවාහන රථවල රියදුරන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය. ඒ අනුව රියදුරු වෘත්තීය ප්‍රමිතිගත කිරීම සඳහා වූ යෝජනා මාසයක් තුළ මෙම අනුකාරක සභාවට ලබා දෙන ලෙසත් අනුකාරක සභාපතිනිය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙන ලදී.

එසේම පසුගිය තෙමසක කාලය තුළ සිදුව ඇති මාර්ග අනතුරු පිළිබඳ දත්ත කාරක සභාවට කඩිනමින් යොමු කරන ලෙස ද ‍කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. දත්ත මත පදනම්ව ඉදිරි නි‍ර්දේශ සකස් කිරීමේ වැදගත්කම අනු කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.

එසේම බස්රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මෝටර් වාහන පනත යටතේ ඊට අදාළව රෙගුලාසි සකස් කර මේවන විට අවසාන අදියරේ පවතින බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙම රෙගුලාසි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් රියදුරුගේ ශරීරයේ පවතින මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම ඇතුළු තාක්ෂණික යාන්ත්‍රණය විධිමත්ව සකස්විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අනු කාරක සභාව මගින් මූලික වශයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධව කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි නීති සහ රෙගුලාසිවල වෙනස්කම් සොයා බැලීම සිදු කරනු ලබන අතර ඉන් පසු අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද මෙම අනු කාරක සභා රැස්වීමට සහභාගී විය.