Thursday, October 24, 2024
Follow Us
කබීර් ඉවත් කෙරේ. කිරිඇල්ල එජාප සභාපති ධුරයට !

අමාත්‍ය කබීර් හෂීම් මහතාව එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දින කිහිපය පුරාම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගෙන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ද දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් අනුව ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ කබීර් හෂීම් මහතා පක්ෂ සභාපති තනතුරේ වගකීම තුට්ටුවකට හෝ නොසලකා කටයුතු කරමින් සිටින බවයි. කබීර් හෂීම් මහතාට පක්ෂය තුළ යම් මතයක් දැරීමට අයිතියක් ඇතත් පක්ෂ සභාපතිවරයා වශයෙන් ඔහු ස්වාධීනව, මධ්‍යස්ථව කටයුතු කළ යුතුව තිබුණ ද ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙස කල්ලි කණ්ඩායම් ඇති කරමින් පක්ෂය බෙදීමට කටයුතු කරන බවට මෙන්ම විරුද්ධ දේශපාලන කණ්ඩායම් සමඟ රහසිගත සාකච්ඡා පවත්වමින් පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී පවතී.

එහෙයින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව, බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ ඉල්ලීම පරිදි කබීර් හෂීම් මහතාව එජාප සභාපති ධුරයෙන් ඉවත් කිරීමටයි පක්ෂය තීරණය කර ඇත්තේ.

ඔහුගෙන් පුරප්පාඩු වන පක්ෂ සභාපති ධුරය සඳහා සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව පත්කිරීමට නිර්දේශ වී ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.

(LNW)