Thursday, October 24, 2024
Follow Us
සජිත් අද රෑ එජාපෙ නායකයන් හමුවෙයි !

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) රාත්‍රී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වනවිට සජිත් පාර්ශ්වයේ ප්‍රබලයෙකු වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිළ නිවසේදීය.

මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ හා සුළු ජාතික පක්ෂ සමග අදහස් හුවමාරු කර ගැනීමයි.

මේ සඳහා එජාපෙ නියෝජනය කරන පක්ෂවලට නායක මට්ටමේ සියලු දෙනා සහභාගි කරවීම සඳහා සජිත් පාර්ශ්වය දැඩි අවධානය යොමුකර තිබේ. පසුගිය 10 වැනිදා පැවති සජිත්-රනිල් හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සජිත් එජාප අපේක්ෂකයා වීමට නම් එජා පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂවල සහාය ද ඔහුට හිමිවන බව ඔප්පු කළයුතු බවයි.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී සුළු ජාතික පක්ෂ ඇතුළු එජා පෙරමුණ නියෝජනය කරන පක්ෂවල සහයෝගය සජිත්ට හිමිවන බව තහවුරු කිරීම සඳහා සජිත් පාර්ශ්වය දැඩි උත්සාහයක් ගනිමින් සිටී.

(LNW)