Thursday, October 24, 2024
Follow Us
සජිත් බලය බෙදන්න එකඟයිලු

ඒකීය රටක් තුළ උපරිම වශයෙන් බලය බෙදීම ජාතික ගැටලුවට එකම විසඳුම ලෙස තමන් පිළිගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එයින් පමණක් සියලු ගැටලු නොවිස‍ඳෙන බවත් දේශපාලන, ආර්ථික සහ සමාජීය බල ගැන්වීමක් ඔස්සේ සියලු ජාතීන්ට අදාල වන ගැටලු නිරාකරණය කිරීම තම ස්ථාවරය බවත් ඇමතිවරයා පවසනවා.

යාපනයේදී පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වූ අද (10) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝදෙනා තමාගේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව විමසන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ ඒ සම්බන්ධව උතුරට එකක් කියා දකුණට තවත් එකක් කියා පිටරට ගොස් වෙනස්ම එකක් කීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවයි. මෙරට සිටි ඇතැම් නායකයන් ඉන්දියාවේදී 13 ප්ලස් ගැන ප්‍රකාශ කොට නැවත ලංකාවට පැමිණි පසු 13 මයිනස් පිළිබඳව ප්‍රකාශ කළ බව ද ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

ජාතික ගැටලුවට විසඳුම් ලෙස 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා පිහිටවූ නමුත් එය අද වනවිට විහිළුවක් බවට පත්ව ඇති බවයි ඔහු පවසන්නේ. පළාත් සභා සම්බන්ධයෙන් තිබෙන ගැටලු විසඳා පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළයුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසයි.

මේ දිනවල ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාපයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ ගන්නා නමුත් එවැනි අර්බුදයක් නොමැති බවත්, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක මෙවැනි විසංවාද නිර්මාණය වියහැකි බවත් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පවසනවා. විවිධ මත පළකිරීමට ඇති නිදහස එජාපය පිළිගන්නා බව ද ඔහු පවසයි. එහෙත් ඇතැම් පක්ෂ නායකයන් විසින් එම පක්ෂ තුළ මතවාද විසංවාද ඇතිවීම පාලනය කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

(LNW)