Thursday, October 24, 2024
Follow Us
පොහොට්ටුවේ ප්‍රාදේශීය පරිපාලනය ගෝඨා යටතට ගැනීමට නිර්දේශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන කටයුතු එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගත යුතු බවට ඒ මහතාගේ ප්‍රචාරණ මෙහෙයුම් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

මීට ආසන්නතම හේතුව මහරගම නගරයේ ඉදිකර තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ප්‍රචාරණ තොරණක් මහාමාර්ගයට කඩා වැටී බරපතළ අනතුරක් සිදුවීම වුවත් පසුගිය අගෝස්තු 11 වනදා පටන්ම අදාළ කමිටුව කළ වෙනත් නිරීක්ෂණ ද මීට පදනම්ව ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම ප්ලාස්ටික සහ පොලිතින් භාවිතයෙන් තොර පරිසර හිතකාමී ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනයන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා රටට පොරොන්දු දී තිබියදී පොහොට්ටුවේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින් ඒ ගැන තඹයක් හෝ නොතකා කටයුතු කිරීම, ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ ඔවුන්ට කිසිදු දැනුමක් නොතිබීම මෙන්ම පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ විනය බරපතළ ලෙස පිරිහී තිබීම ද ඔවුන් මූලික හේතු වශයෙන් පෙන්වා දී ඇත.

පසුගිය සතියේත් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා නියෝජිතයකු මිනීමැරුම් චෝදනාවක් මත අත් අඩංගුවට පත්වූ අතර ඔහුත් සමඟ ඒ මොහොතේ පාතාල සාමාජිකයකු ද සිට තිබිණි. මේ ආකාරයෙන් පසුගිය 2018 පෙබරවාරි සිට මේ දක්වා පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයින් සිය ගණනක් විවිධ චෝදනා මත අත් අඩංගුවට පත්ව ඇති බවත් ගම්වල ප්‍රසිද්ධ ජාවාරම්කරුවන්, දූෂිතයින් ඔවුන් අතර සිටින හෙයින් ඔවුන් සමඟ එකම වේදිකාවලට ගොඩවීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනය ගරුක ප්‍රතිරූපයට දැවැන්ත කැළලක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණයේ මීළඟ පියවර වශයෙන් ප්‍රාදේශීය මට්ටමෙන් ඒ මහතා රටවටා සංචාරය කිරීමට පෙර පොහොට්ටුවේ සියලුම ප්‍රාදේශීය දේශපාලනඥයින් ඒ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කමිටුවේ සෘජු අධීක්ෂණය යටතට පත් කළ යුතු බවත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ප්‍රාදේශීය පරිපාලන බලය සියතට ගත යුතු බවත් ඔවුන් නිර්දේශ කර ඇත.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන නොමැති බැවින් මෙය තරමක් ගැටළුකාරී ඉල්ලීමක් වනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)