Thursday, October 24, 2024
Follow Us
කබීර් හෂීම් එජාප සභාපති තනතුරින් ඉවත් කිරීමේ තීරණයක් !

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ සජිත් පාර්ශ්වයේ කැරලි නායකයකු බවට පත්වී සිටින එජාප සභාපති කබීර් හෂීම් මහතාව එම තනතුරින් ඉවත් කිරීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා (06) පැවති එජාප ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කබීර් හෂීම් මහතාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

කබීර්ගේ ඩීල් ගැන චෝදනා වැලක්

කබීර් සතුව අමතරව තිබෙන ඛනිජ තෙල් අමාත්‍යාංශය කිරිඇල්ලට පැවරීමට පක්ෂය විසින් තීරණය කර තිබියදී සජිත්, මලික් ඇතුළු පිරිසක් සමඟ ගොස් ජනාධිපතිවරයා හමුවී අමාත්‍යාංශය ඉවත් නොකරන ලෙස බලපෑම් කිරීම, ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී සිටියදී පක්ෂයට රහසින් ගොස් ජනාධිපතිවරයා හමුවී ඇමතිකමේ දිවුරුම් දීම, 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය අවස්ථාවේ පටන්ම ජනාධිපතිවරයා සමඟ යටින් ඩීල් පවත්වාගෙන යාම, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ රහස් සාකච්ඡා පැවැත්වීම ඇතුළු චෝදනා වැලක්ම ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබේ.

මෙම චෝදනාවලට කබීර් හෂීම් මහතා කිසිදු පිළිතුරක් ලබා නොදීම ද විශේෂත්වයකි.

කිරිඇල්ලගේ ප්‍රහාරයෙන් පසුව එජාප ජ්‍යේෂ්ඨයින් මේ පිළිබඳව යළි යළිත් සාකච්ඡා කර තිබුණු අතර ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත්තේ කබීර්ව වහාම තනතුරින් ඉවත් කරන ලෙසය.

ඒ අනුව අද (10) දිනයේ ම ඊට අවශ්‍ය ලිපි ලේඛන සකස් කෙරෙනු ඇති බවත් මේ සඳහා අවශ්‍ය යෝජනාව මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පහසුවෙන් සම්මත කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

කබීර් හිත හදාගෙන

මෙම තත්වය පිළිබඳ කබීර් හෂීම් මහතා ද දැනුවත් සිටින ආකාරයක් පෙන්නුම් කරමින් ඊයේ (09) පැවති හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ තනතුරු අහිමි වුවත් තමන් තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින බවය.

ඛනිජ තෙල් අමාත්‍යාංශය ඉවත් කිරීමේ පක්ෂයේ තීරණයට තමන් අකමැති හෙයින් ජනාධිපතිවරයා හමුවී ඊට එරෙහිව කරුණු දැක්වූ බව ද ඔහු එහිදී පිළිගත්තේය.

 

(LNW)