Thursday, October 24, 2024
Follow Us
විනය කඩකළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රබල තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිපය සැරසේ

පක්ෂයේ විනය උල්ලංඝණය කළ පුද්ගලයින්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෑත ඉතිහාසයේ ගනු ලබන ප්‍රබලම තීන්දුව මෙවර ගනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඩිලාන් පෙරේරා සහ එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

" එස්.බි. දිසානායක මෙන්ම ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරුන් සිදුකලේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුළු කණ්ඩායමක් රැගෙන ගිහින් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත්තම ඔවුන්ට එරෙහිව සිදුකරන විනය පරීක්ෂණ කඩිනම් වෙලා තියෙනවා. මොකද අපේ පක්ෂ ව්‍යවස්ථාවේ විතරක් නෙමෙයි රටේ නීතියෙත් තියෙනවා එක් පක්ෂයක ඉදලා වෙනත් පක්ෂයකට ගියාම ඒ අයගේ මන්ත්‍රිධුරය අහිමි වෙනවා කියලා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැදගත් වන්නේ ඒ අය පක්ෂයේ විනය කඩ කිරිම කියන තැන ඉදලා. මේ සිද්ධීය සමහරවිට මෑත කාලින ඉතිහාසයේ වෙන ලොකුම සිදුවීම වෙන්නත් පුළුවන්" මන්ත්‍රිවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එකගතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා වෙනම තරග කිරීම ස්ථිර බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ වර්තමානයේ එම පක්ෂය තීන්දු තීරණ ගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඕනෑ එපාකම් මත බවයි.

(Neth)