Thursday, October 24, 2024
Follow Us
ප්‍රෝඩාබයගේ ප්‍රෝඩාවට අහුවෙන්න එපා, එජාපයේ අපේක්ෂකයා සජිත්මයි ! - මංගල

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට ඊයේ තීන්දු කර ඇතැයි පළවන ප්‍රවෘත්තිය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ ෆේක් නිවුස් එකක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ පැවති රැස්වීමේදී එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂකයා බව රටේ බහුතරයක් පිළිගෙන ඇති බවත් මුදල් ඇමතිවරයා පවසයි.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනයේදී පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

‍එජාප අපේක්ෂකයා පිළිබඳ තීරණය කරන්නේ ගෝඨාභයට කඩේ යන හෙංචයියන්ගේ ප්‍රකාශවලට අනුව නොව එජාප පාක්ෂිකයා බව ඇමතිවරයා පවසයි.

ඒ අනුව ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම එජාපයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරනු ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පැහැදිලිවම ප්‍රකාශ කරන බවත් මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

(LNW)