Thursday, October 24, 2024
Follow Us
ලකුණ පොහොට්ටුව නම් අපට සන්ධානයකට එන්න බෑ - ශ්‍රීලනිප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් බිහිකිරීමේදී එම සන්ධානයේ ඡන්ද ලකුණ පොහොට්ටුව නම් තමන්ට එවන් සන්ධානගත වීමකට එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පොදු ලකුණකින් සන්ධානගත නොවුණුහොත් එහි පාර්ශ්වකරුවකු ලෙස තමන්ගේ අනන්‍යතාවය අහිමිවන බවයි ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ.

එහෙයින් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ලකුණක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ යුගයේ පොදුජන එක්සත් පෙරමුණ භාවිතා කළ පුටුව ලකුණ යොදාගත හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

එසේම අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. පොහොට්ටුව යනු අන්තවාදී ලකුණක් ලෙස හංවඩු ගැසී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ නෙත් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මතය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ලකුණ පොහොට්ටුව බැවින් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බවය.

(LNW)