Thursday, October 24, 2024
Follow Us
ජනපතිගේ සවියට තවත් සිරිසේන කෙනෙක් පාර්ලිමේන්තුවට !

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස්වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් සිරිසේන කෙනෙකු පත්කිරීමට නියමිතව තිබේ.

ඒ, දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාය.

2015 අගෝස්තු මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර දිස්ත්‍රික්කයෙන් ආසන පහක් දිනාගත් අතර මනාප 54,252ක් ලබාගනිමින් එම ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ අවසානයට සිටියේ චන්ද්‍රසිරි ගජධීර මහතාය.

ඊයේ (06) දිනයේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ අතර හිස්වූ මන්ත්‍රීධුරයට හිමිකම් කීමට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ මනාප 48,590ක් ලබාගත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය. ඔහු මහමැතිවරණයෙන් පරාජයට පත්වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් කරන ලදී.

ඒ අනුව ඔහු දැනටමත් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බැවින් අවස්ථාව හිමිවන්නේ මනාප 28,723ක් ලබා සිටින තරුණ දේශපාලනඥයකු වන මනෝජ් සිරිසේන මහතාටය.

චන්ද්‍රසිරි ගජධීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව දේශපාලන කටයුතුවල නිරත වූ නමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පාර්ලිමේන්තු පැමිණීමට නියමිත මනෝජ් සිරිසේන මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රීලනිප දේශපාලනයෙහි නිරත වන්නෙකි.

පසුගියදා සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් ද රාජපක්ෂ පාර්ශ්වයට තමන්ගේ මන්ත්‍රීවරයකු අහිමි වූ අතර දැන් ඔවුන්ට තවත් මන්ත්‍රීවරයකු අහිමි වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා එම මන්ත්‍රීධුර දෙක ද සමඟින් ශ්‍රීලනිපය තවත් ශක්තිමත් කරගැනීමට නියමිත අතර එස්.බී. ඩිලාන් ඇතුළු පක්ෂය හැරගිය මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට එරෙහිව දැනට ආරම්භ කර ඇති විනය පරීක්ෂණ සාර්ථක වුවහොත් තවත් මන්ත්‍රීධුර පහක් සඳහා අලුතින් පත්කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇත.

(LNW)