Thursday, October 24, 2024
Follow Us
මහින්දට බලයක් ලැබෙන්නේ නෑ ! - ගම්මන්පිල

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන්නේ නාමික අග්‍රාමාත්‍ය තනතුරක් පමණක් බව පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රකාශ කර තිබිණි.

ඊටම වැඩිදුර කරුණු ඉදිරිපත් කරමින් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මෙතෙක් විධායක ජනාධිපතිවරයාට ලැබී තිබුණු බලතල අංශු මාත්‍රයකින්වත් 19 වන සංශෝධනය හරහා අඩුවී නොමැති බවයි.

ගෝඨා ඕනෙ නම් ඇමතිකම් දෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ විට පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයකු වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම ඔහුට අවශ්‍ය තරමක් අමාත්‍යාංශ තමන් යටතේ තබාගනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”. යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය යටතේ හිමිව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය පවරා දෙන්නේ ජනාධිපතිවරයාට බැවින් ඔහුට එය ඇමතිවරුන්ට පැවරීමට හෝ කාටවත් නොපවරා තමන් යටතේ තබාගැනීමට හෝ බලය හිමිවන බව පැවසූ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ ආකාරයෙන් කටයුතු කරනු ඇති බව පැහැදිලි කළේය.

19 වන සංශෝධනයෙන් අරමුණු කළේ ජනාධිපතිවරයා සතු විධායක බලතල අඩු කර ඒවා පාර්ලිමේන්තුව වෙත පැවරීමය. එනම්, අග්‍රාමාත්‍යවරයා සතු බලතල වැඩි කිරීමය. නමුත් ගම්මන්පිල මහතා තර්ක කරන්නේ ගෝඨා ජනපති වුවහොත් 19ට පෙර පැවති ආකාරයෙන්ම විධායක බලතල ඔහු භාවිතා කරනු ඇති බවයි.

19ට පෙර පැවති ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අග්‍රාමාත්‍යවරයාට කිසිදු බලයක් ලැබී තිබුණේ නැත. රත්නසිරි වික්‍රමනායක, දි.මු. ජයරත්න වැනි මහත්වරුන් අගමැති ලෙස කටයුතු කළ ආකාරය සිහියට නඟා ගැනීමෙන් එය වැටහෙනු ඇත.

මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ලැබුණාක් මෙන් නාමික අග්‍රාමාත්‍ය තනතුරක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය උදය ගම්මන්පිල මහතා විසින් ද ස්ථිර කර තිබේ.

(LNW)