Thursday, October 24, 2024
Follow Us
සජිත්ට ජනපති අපේක්‍ෂකත්වය ඉල්ලන කුරුණෑගල රැළිය අද - එජාප ජේ්‍යෂ්ඨ නායකයන්ගේ රැස්වීමකුත් පස්වරුවේ

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බල කරමින් පවත්වන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (05) පැවැත්වෙනවා. ඒ කුරුණෑගල සත්‍යවාදී පිටියේදීයි. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ පස්වරු 2.30 ට පමණ රැළිය ආරම්භ කිරීමට නියමිත බවයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම රැළිය කුරුණෑගල ඉතිහාසයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වන රැළිය බවට පත්වනු ඇති බවයි. ඊට එක්වීම සඳහා ජනතාව තුල දැඩි උනන්දුවකින් සහ බලාපොරොත්තුවකින් පසුවන බවයි. එමෙන්ම අද රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගිවීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර සිටියා.

අනවශ්‍ය රැළි නොපැවැත්විය යුතු බවට පක්‍ෂ නායකයන් තීරණයක් ගෙන තිබිය දී මෙම රැළිය පැවැත්වීමෙන් ගැටළුවක් මතු නොවන්නේ දැයි නෙත් නිවුස්, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ගෙන් විමසීමක් කළා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මේ දක්වා රැළිය පවත්වන්න එපා කියා මේ දක්වා තමන්ට කිසිවෙකුත් දැනුම් දී නොමැති බවයි. සාමාන්‍යයෙන් පක්ෂයේ සිටින ජනප්‍රිය පුද්ගලයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බව පෙන්වීමට මෙවැනි රැළි සංවිධානය කිරීමට සිදුවන්නේ විපක්ෂයට පෙන්වීමට වුවත් දැන් පක්ෂයේ තුල සිටින අයටම එය පෙන්වීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බවයි. අද පාර්ලිමේන්තු දිනයක් වන බැවින් කුරුණෑගල රැළිය සඳහා පක්ෂයේ ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් 25 දෙනෙක් පමණ සහභාගී වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් කුරුණෑගලදී අද පැවැත්වෙන රැළිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පළ කළේ මෙවන් අදහසක්.

එහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ එම රැළිය එකසත් ජාතික පක්ෂයේ රැළියක් නොවන බවයි. එය යම් කිසි පිරිසක් එක්ව සිදුකරනු ලබන රැස්වීමක් බව කියා සිටියා. පක්ෂයක් නම් විනයක් තිබිය යුතු බවත් රටක් පාලනය කිරීමට බලාපොරොත්තුවන පුද්ගලයෙක් නම් මුලින්ම තමන් තුල විනයක් තිබිය යුතු බව ඔහු සඳහන් කර සිටියා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පෙනී සිටින බවට තමන්ට කියා සිටි බවත් පක්ෂයේ නායකයෙක් සිටිනවිට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බව මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

බොහෝ දුරට පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්වීමෙන් පසු අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණ කළේ.

(Neth)