Thursday, October 24, 2024
Follow Us
ගෝඨා යටතේ මහින්දට ලැබෙන්නේ නාමික අගමැතිකමක්. චන්ද්‍රිකා යටතේ සිරිමා වගේ - ඩලස් හෙළිකරයි !

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වූ පසුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය තනතුර ලබාදෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අග්‍රාමාත්‍ය තනතුර ලබාදුන් ආකාරයෙන්ම බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූ ජනාධිපති බලතල කප්පාදු කිරීම පිළිබඳ අභියෝගය ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි බවයි ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් මෙම උදාහරණය ඉතාම සුවිශේෂී එකක් වන්නේ 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති තනතුරට පත්වන විට එවකට පැවති ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය තනතුර හුදෙක් නාමික තනතුරක් පමණක්ම වූ නිසාය. ප්‍රායෝගික වශයෙන් ද චන්ද්‍රිකා මහත්මියගේ පාලන සමය තුළ වයෝවෘද්ධව සිටි සිරිමාවෝ මැතිණිය කිසිදු රාජ්‍ය පාලන කටයුත්තකට සහභාගී නොවූ අතර ඇය විසින් හුදෙක් ගෞරව තනතුරක් වශයෙන් පමණක් අග්‍රාමාත්‍ය ධුරය දරණ ලදී.

ඩලස් අලහප්පෙරුම යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා බැවින් මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මතය ද වේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයක් තුළ මහින්ද රාජපක්ෂ යනු කිසිදු බලයක් හිමි නොවන පුද්ගලයකු බවට පත් කෙරෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන්ම මෙයින් ප්‍රකාශයට පත්වී තිබේ.

(LNW)