Thursday, October 24, 2024
Follow Us
අපේක්ෂකයා නම් කිරීමට රනිල් සහ පක්ෂ නායකයින් අතර තීරණාත්මක හමුවක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. හෙට (05) දිනයේදී මෙම හමුව සිදුවෙනු ඇති බවයි වාර්තා වුණේ. ඒ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිමේ අරමුණින්. අපේක්‍ෂකයා ප්‍රමාදවීම ගැටළුවක් බවයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළේ.

අපේක්ෂකයා පමාවීම ප්‍රශ්නයක්. නමුත් ජයග්‍රහණය ප්‍රශ්නයක් නොවන බවද සඳහන් කළා.

කෙසේවෙතත් ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන්ද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් එම කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් එකතුවීම ගැටලුවක් නොමැති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් මන්ත‍්‍රිවරු පිරිසක්ද අග‍්‍රාමාත්‍යවරයා සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවටද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය විසින් සංවිධාන කරනු ලබන තුන්වන ජන රැලිය හෙට (05) දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතයි. ඒ එම රැළිය නොපවත්වන ලෙසට පක්‍ෂ නායකයා දැනටමත් දැනුම්දී ඇති පසුබිමකයි.

මීට පෙර ද මෙවැනි ජන රැළි දෙකක් බදුල්ල සහ මාතරදී පැවැත්වුණා.

එමෙන්ම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ, පක්ෂ නායකත්වයෙන් මීට පෙර කළ ඉල්ලීමට මෙතෙක් ප‍්‍රතිචාර නොලැබීම හේතුවෙන්. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ජනපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට අත්සන් සහිත ලිපියක් ඉදිරි දින කිහිපය තුළ පක්ෂ නායකවරයා වෙත නැවත භාරදීමටයි ඔවුන් සූදානම් වන්නේ.

මීට පෙර මන්ත‍්‍රීවරු 54 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දුන්නා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එකට පවත්වන ලෙසට ඉල්ලමින්.

(Neth)