Wednesday, October 23, 2024
Follow Us
අදත් තවත් මහ සිකුරාදාවක් වෙයිද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතාමත්ම නුදුරේදී මහත් ආන්දෝලනාත්මක දේශපාලන තීන්දු, තීරණ කිහිපයක් ගැනීමට නියමිතව පවතින අතර අද (23) සිකුරාදා දිනයේ ද යමක් සිදුවනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ ආරංචි පැතිර යමින් පවතී.

සජිත් ප්‍රේමදාස මහතාව කෙසේ හෝ අගෝස්තු 22 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවාගන්නැයි ජනාධිපතිවරයා විසින් සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී තිබුණු අතර එම කාලය ඊයේ දිනෙන් අවසන් විය.

මීට ප්‍රතිචාර ලෙස සජිත් පාර්ශ්වය මාධ්‍ය හමුවක් පවත්මින් ප්‍රකාශ කළේ අගෝස්තු 23 වනදා එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය බිහිකිරීම සහ අපේක්ෂකයා නම් කිරීම යන දෙකම එකවැර සිදු කරන බවයි. එහෙත් එය දැන්ම සිදු නොවන ආකාරයක් පෙනී යන අතර සජිත් පාර්ශ්වය සෘජුවම එජාප නායකත්වයට තර්ජනය කර තිබුණේ සතියක් තුළ සජිත්ව අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් තමන් විකල්ප ක්‍රියාමාර්ගවලට යන බවටය.

මෙම විකල්ප ක්‍රියාමාර්ගය වන්නේ ජනාධිපතිවරයාගේ සහායෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර එම තනතුරට සජිත් ප්‍රේමදාස මහතාව පත් කිරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම උත්සාහය පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කරන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවමින් දින 52 ආණ්ඩුව ආරම්භ කළ 2018 ඔක්තෝබර් 26 වනදා ද සිකුරාදාවකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කළ 2018 නොවැම්බර් 11 වනදාව ද සිකුරාදාවකි. වෙනෙකක් තබා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් 2015 ජනවාරි 09 වනදාවත් සිකුරාදාවකි.

අදත් සිකුරාදාවක් වන අතර පවතින දේශපාලන වාතාවරණය අනුව අද රාත්‍රී 10.00 වනතුරු කාලය අතිශයින්ම තීරණාත්මක බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

(LNW)