Saturday, January 11, 2025
Follow Us
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාවේද දායකත්වයක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ජාත්‍යන්තර හින්දි භාෂා දිනය වෙනුවෙන් කොළඹ දී සංවිධානය කර තිබූ භාරත් - ලංකා හින්දි භාෂා සමුළුවේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව සදහන් කළේය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හින්දි භාෂාව පිළිබඳ විද්වතුන්, සිසුන්, පර්යේෂකයන් 400 කට අධික සංඛ්‍යාවක් එක් කරමින් භාරත්-ශ්‍රී ලංකා හින්දි සමුළුව සංවිධානය කර තිබිණ. මෙහිදී ජාත්‍යන්තර හින්දි භාෂා දිනය වෙනුවෙන් පැවති සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා.

හින්දි භාෂාව, රිද්මයානුකූල සහ කාව්‍යමය භාෂාවක් වගේම ඉන්දියාවේ පොහොසත් සංස්කෘතිය පිළිබඳ සාක්ෂියක්. හින්දි භාෂාව චීන සහ ඉංග්‍රීසිවලට පසුව ලොව පුරා වැඩියෙන්ම කතා කරන භාෂාව, ගෝලීය වශයෙන් මිලියන 600ක් පමණ හින්දි භාෂාව කතා කරනවා .

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. හින්දි භාෂාව භාවිත කරන ඉන්දීය සිනමාව, සංගීතය සහ කලාව ශ්‍රී ලංකාව තුළ ඉමහත් ජනප්‍රිය වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ හින්දි සේවය අඩ සියවසකට අධික කාලයක් පවත්වා ගෙන ඒම ඊට සාක්ෂියක්.

ශ්‍රී ලංකාව පුරා පාසල්, විශ්වවිද්‍යාල සහ සංස්කෘතික ආයතනවල හින්දි භාෂාව උගන්වනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 09ක සහ පාසල් 88 ක හින්දි භාෂාව උගන්වනවා. ඉදිරියේදී හින්දි භාෂාව හැදෑරීම සඳහා උසස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කොට තිබෙනවා.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික අංශය සමග එක්ව පළමු වරට හින්දි භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ හින්දි භාෂාව හදාරන සැමට වැදගත් අවස්ථාවක්.

හින්දි භාෂාව ඉගෙනීමෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රවල සංවර්ධනයටත් ඉතා වැදගත් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, හින්දි භාෂාව හදාරන සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.