Wednesday, October 23, 2024
Follow Us
පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මිස ’’මමයි අපේක්ෂකයා’’ කිව්වාට පිළිගන්න බෑ - ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල නිසි ක්‍රමවේදයෙන් මිස යම් කිසිවකු "මමයි අපේක්ෂකයා" යැයි කී පමණින් එය පිළිගැනීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

"අර්බුදය ඉවර නෑ, සමහරු ෆවුල් ස්ටාර්ට් අරන් දුවන්න පටන් අරන් තියෙනවා. නමුත් පක්ෂය තාම නීත්‍යානුකූලව තරගය ආරම්භ කරලා නෑ. අපි ඉන්න පක්ෂෙ ප්‍රතිපත්තිය තියෙනවා, පක්ෂෙ ව්‍යවස්ථාව තියෙනවා, පක්ෂෙ නායකයෙක් ඉන්නවා. ඒ අනුව මේවා සිද්ධ වෙන්න ඕනෙ. කවුරු හරි සරම උස්සන් කෑගැහුවොත් 'මමයි නියෝජිතයා, මමයි ඉල්ලන්නෙ, මම දිනනවා' කියලා එහෙම පිළිගන්න අපි ලෑස්ති නෑ. " යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් පක්ෂ නායකත්වය සමඟ සිටින පාර්ශ්වය ජයග්‍රහණය කරනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

"අනිවාර්යයෙන්ම පක්ෂ නායකයාත්, අපිත්, බහුතරක් එක මතයක ඉන්නවා. ඒ මහතය ජයග්‍රහණය කරයි කියලා අපට විශ්වාසයි. නායකයාගේ මතය අනුමත නොකරන බහුතරයක් ඉන්නවා නම් ඒ අයට නායකයා අයින් කරගන්න පුළුවන්නෙ ඉස්සෙල්ලම. එහෙම නායකයා අයින් කරගන්න බැරි හින්දනෙ එක එක ඒවා කරන්නෙ. ඒ කියන්නෙ නායකයාත් එක්ක තමයි බහුතරයක් ඉන්නෙ" යනුවෙන් ද ඒ මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (19) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)