Tuesday, October 22, 2024
Follow Us
එජාපය ප‍්‍රමුඛ නව පෙරමුණේ රැස්වීම අවලංගු කෙරේ

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාති‍්‍රයේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්, අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වුවා. එහිදී පසුපෙළ මන්තී‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සමගිය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙසයි.

ඊයේ පැවැති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

එහිදී "අගමැතිතුමාගෙන් ඉතාමත්ම සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. මේ සන්ධානය සඳහා එකතු කර ගන්න ඉන්න යම් යම් කණ්ඩායම්, සුළු ජාතික පක්ෂ බරපතල ලෙස එකඟ නොවන්නේ නම් එක අඩියක්වත් ඉදිරියට නොයන්නට කටයුතු කරනවා කියන පොරොන්දුව එතුමාගෙන් අපිට ලැබුණා." යනුවෙන් සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ එක්ව ගොඩනගන නව පෙරමුණ සම්බන්ධයෙන් අද (04) දිනයේ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.