Sunday, October 20, 2024
Follow Us
ආණ්ඩුවක් නැතුවම පොහොට්ටුවෙන් දින 100 ක වැඩක්

ලබන අගෝස්තු 12 වැනිදා සිට දින සියයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. 2015 ජනවාරි 09 වැනිදා සිට දින 100 න් අලුත් රටක් නිර්මාණය කරන බව පවසමින් ජනතාව රැවටූ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම දින 100 වැඩපිළිවෙලකින්ම සිදු කරන බවයි අද කොළඹදී පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට රටේ පවතින ප්‍රධාන ගැටලුව ආර්ථිකය හෝ අන්තවාදය හෝ ත්‍රස්තවාදය නොව ආණ්ඩුවේ පවතින විසංවාදය බවයි අලහප්පෙරුම මහතා සඳහන් කළේ. ආණ්ඩුවේ පාර්ශ්වවලට එක මතයක සිට එකට වැඩ කළ නොහැකි බවත්, පසුගිය කාලය තුළ කිසිදු මාතෘකාවක් වෙනුවෙන් එකට සිටගත් අවස්ථාවක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. එවැනි තත්වයක් තුළ රටේ ගැටලු ඇතිවීම සාමාන්‍ය තත්වයක් බවයි ඔහු පවසන්නේ.

එකම පක්ෂයක ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු ප්‍රධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මේ සඳහා තිබෙන හොඳම විසඳුම බවත් දින 100 වැඩපිළිවෙල යටතේ රට නැවත ‍ගොඩනැගිය හැකි නායකත්වයක් පත් කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සහයෝගය ලබා දුන්නේ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවකින් බවත්, එහෙත් එවැන්නක් සම්මත කර ගැනීමට ආණ්ඩුව අසමත් වීම ව්‍යවස්ථා අර්බුදයට හේතුව බවත් ඔහු පවසයි.

(LNW)