Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකාව විදේශ රටවලින් ඉල්ලීමක් කරයි

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යළි පැමිණීමට නොහැකිව අපහසුතාවට පත්වී සිටින ශ‍්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා කාලය දීර්ඝ කරන්නැයි ශ‍්‍රී ලංකාව, විදෙස් රාජ්‍යන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ ලේකම් රවිනාථ ආරියසිංහයි විදෙස් රාජ්‍යයන්ගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

නව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යළි මව්රටවලට යාමට නොහැකිව ඇතැම් පිරිස් ශ‍්‍රී ලංකාවේ ද රැඳී සිටිනවා. එවැනි සියලූදෙනා සඳහා වීසා කාලය කල් ඉකුත්වූ දින සිට මාසයක් දීර්ඝ කිරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කළ බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.

ඒ අනුව විදෙස් රටවල සිටින ශ‍්‍රී ලාංකිකයින්ට ද එම පහසුකම් හිමිවනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශය විශ්වාසය පළ කළා.

මේ අතර විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, ශ‍්‍රී ලංකාවේ සිටින බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් සමග ඊයේ (18) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් සීම කර තිබුණත්, ශ‍්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට ආපසු යාමට අවශ්‍ය නම් අවහිරයකින් තොරව ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම සඳහා ඔවුන්ට පහසුකම් සපයා තිබෙන බවයි විදේශ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

(Neth)