Tuesday, December 24, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හා කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී කථානායක,ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. 

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේ දී කථානායකවරයා වෙත කොරියානු  තානාපතිවරිය  සිය  සුබ පැතුම් එක් කළාය. 

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ කොරියානු  තානාපතිවරිය ඉදිරියටද එම සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සක්‍රීය කරමින්, නව රජය සමග සාකච්ඡා කර එම ව්‍යාපෘති  වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය. ඒ අතර මහනුවර උමං මාර්ග ( Kandy Tunnel )ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරීම අවසන් අදියරේ පවතින බවද ඇය  පෙන්වා දුන්නාය.

තවද දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා නායකත්ව සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක  කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් කොරියානු  තානාපතිවරිය පැවසුවාය.

මෙහිදී අදහස් දක්වමින්  කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා දකුණු කොරියාවේ සහාය අපේක්ෂා කරන බවද  පැවසුවේ ය.