එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UNFAO) සහකාර අධ්‍යක්ෂ ජනරාල්,ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ආචාර්ය Manuel Barange මහතා සහ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් පසුගියදා ධීවර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී ධීවර ඇමැතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීමටත්, ධීවර පසු අස්වැන්න ආරක්ෂා කිරීමටත්, අපේ රටේ ආහාර සුරක්ෂිතතාව වර්ධනය කර ගැනීම සඳහාත් UNFAO සංවිධානය දෙන ආධාර හා මැදිහත්වීම ගැන තමන් බොහෝ සේ ස්තුතිවන්ත වන බවයි.
එමෙන්ම මෙරට මුහුදු කූඩැල්ලන්, මුහුදු පාසි වැනි ඇතුළු ජලජීවී වගාවන් සඳහා ද සංවිධානයේ ආධාර හා උපදෙස් දෙන ලෙසත් මෝදා මසුන් වගාව මෙන්ම කූඩුවල මසුන් වගාකිරීමට අවශ්‍ය සහාය දෙන ලෙසත්, ඇමැතිවරයා ඉල්ලා සිටියේය. මෙරට සාගර සම්පත ඉන්දියානු බොටම්ට්රෝලින් පන්නය නිසා මුහුදු සම්පත් විනාශවීම මෙරට ධීවරයන්ට බලවත් හානියක් බව ද පෙන්වා දුන් ඇමැතිවරයා ඉල්ලීමක් කළේ ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බලා උදව් කරන ලෙසයි.
UNFAO සංවිධානයේ ආධාර ඇතිව දැනට කෙටුම්පත් කරන ලද නව ධීවර පනත ධීවර සංවිධානවල අදහස් ද ඇතුළත් කර මාසයකින් සම්පූර්ණ කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.
සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරමින් පැවසුවේ ධීවර ඇමැතිවරයාගේ ඉල්ලීම් සියල්ල පිළිබඳව තම සංවිධානයේ අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සහ ධීවර ජනතාව සංවර්ධනය කිරීමට සිය සංවිධානයට හැකි උපරිම ආධාර උපකාර කරන බවයි.
ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා ,ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනෙවිය සහ UNFAO සංවිධානයේ නියෝජිත පිරිසක් ද ධීවර අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.