Wednesday, October 23, 2024
Follow Us
උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කරනු! දෙමළ පක්ෂවලට ඩයස්පෝරාවෙන් බලපෑම්

ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක නිරත වන ලෙස දෙමළ ඩයස්පෝරාව දෙමළ දේශපාලන පක්ෂවලට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා අවසන් තීරණය ගැනීම ප්‍රමාද කිරීමට මෙම බලපෑම හේතුවක් වී තිබේ. යුද්ධයෙන් දරුවන් අහිමි වූ දෙමාපියන් උතුරේ ස්ථාන තුනක මේ වනවිට උපවාස ආරම්භ කර ඇත. එම දෙමාපියන්ද උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇත්තේ ඡන්ද වර්ජනයක නිරත වෙන ලෙසයි.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ලබන 13 පස්වරුවේ ලබාගැනීමට නියමිතය. ඊට අදාළ සාකච්ඡාව යාපනයේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කරයි.

මැතිවරණයේදී සහයෝගය ලබාදීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ යෝජනා 13ක් මේ වන විට ඉදිරිපත් කර ඇත. යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරිපත් කළත් එම යෝජනා ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සකස් කළ යෝජනා 13 නිල වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලබාදී නොමැති බවද වාර්තා වෙයි. එම නිසා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා පිළිබඳ මැතිවරණ වේදිකාවේදී අදහස් පළ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (24 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී දැනුම් දී තිබේ.

(Lanka Leads)