Sunday, October 20, 2024
Follow Us
පොරොන්දු කඩ කළ නව ජනපතිට එරෙහිව ආජෙන්ටිනාවේ ජනතාව පාරට බසී

බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු ඉහළ දැමීමෙන් එරට ජනතාව මහපාරට ඇද දමා ඇතැයිද කියමින් මේ දැවැන්ත විරෝධතා රැලිය සංවිධාන කර ඇත්තේ ආජෙන්ටිනාවේ විපක්ෂය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව බවත් වාර්තා වේ.

විරෝධතා රැලියට සමගාමීව එරට ප්‍රබලතම වෘත්තිය සමිතිය වන අජෙන්ටිනා කම්කරු ජාතික සම්මේලනය විසින් එක්දින වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කළ බව ද වාර්තා වේ. එම වැඩ වර්ජනයෙන් එරට ප්‍රවාහන, බැංකු, රෝහල් පද්ධතිය ඇතුළු සියලු මහජන සේවාවන් බිඳ වැටුණු බවත්, සිය ගණන් ගුවන් ගමන් අත්හිටුවීමට සිදුවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Dinamina