Sunday, October 20, 2024
Follow Us
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමක්

යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරයා මෙම යෝජනාව කැබිනට් මණඩලයට ඉදිරිපත් කර ඇත.

සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම, අපනයනාභිමුඛ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍යයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ගයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයෙහි විශාලතම ආර්ථිකයක් සහ විශාලතම බාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2018-01-16 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. සාකච්ඡා ක්‍රියාවලිය අතරතුරදී ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව විසින් අදාළ සියලු දේශීය පාර්ශ්වකරුවන් සමග ද අදහස් හුවමාරු කරගෙන ඇත.

ශ්‍රී ලංකා සහ තායිලන්ත දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා වට නවයකට පසු සකස් කරනු ලැබ ඇති වෙළෙඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම, දේශීය නීති හා රෙගුලාසි සඳහා අනුකූලතාව සහ දැනුම් හුවමාරු කිරීම පහසුකරණය ඇතුළුව පූර්විකාව සහ ඇමුණුම් ඇතුළත් පරිච්ඡේද 14කින් සමන්විත සම්පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ.