Sunday, October 20, 2024
Follow Us
මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට UNDP තාක්ෂණික සහය

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  (UNDP) මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ හමුවක් අද  (24) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ගැනිණ. 

මෙරට ඩෙංගු මදුරු ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් ඩෙංගු මදුරු මර්දනය, ඩෙංගු කීටයන් හා මදුරුවන් බෝ වන ස්ථාන හදුනා ගැනීම, මදුරු ව්‍යාප්තිය පිළිබඳ අවශ්‍ය හදුනා ගැනීම, වැනි කරුණු සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම මෙන්ම ඊට අවශ්‍ය උපකරණ, නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා  දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී  අසූසා කුබෝටා (Azusa Kubota)  මහත්මියගෙන් ඉලීමක් කර සිටියේය. මෙරට වැඩිහිටි ජනගහනය හා ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රතිකාර සේවාවන්  වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමභාවය හා කඩිනම්භාවය තවත් ඉහළ  නැංවීමට නවීන තාක්ෂණය භාවිත කිරීම පිළිබදව මෙන්ම,  ඖෂධ හා වෛද්‍ය  උපකරණ සැපයුම් සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් එම සැපයුම් කඩිනම් කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් මෙහිදී සාකච්ජා කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද මනා දැක්මක්, දැනුමක් ඇති අමාත්‍යවරයකු සෞඛ්‍ය අමාත්‍යංශයට නායකත්වය ලබා දීම පිළිබදව තමන් සතුටට පත්වන බවත්,  මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීම් වෙනුවෙන් අවශ්‍ය සහය ලබා දීමට නොපැකිළිව කටයුතු කරන බව අසූසා කුබෝටා  මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය  (WHO)  , ආසියානු සංවර්ධන බැංකුව (ADB), ඒඩ්ස් ,ක්ෂයරෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමේ ගෝලීය අරමුදල ( GFATM) වැනි සංවිධාන,ආයතන සමඟ සම්බන්ධ වී කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් ඊට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බව ද නියෝජිතවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මීට අදාළව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ සමඟ නිරතුරුව සම්බන්ධ වී අවශ්‍ය සම්බන්ධීකරණය  කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රදානයන් හා ජාත්‍යන්තර  සබඳතා පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාට  සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. 

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය අවස්ථාවවලදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  (UNDP) ලබා දුන් දායකත්වය සිහිපත් කළ අමාත්‍යවරයා ඉදිරියටත් එම වැඩසටහනේ සහය අපේක්ෂා කර සිටියේය. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන කාර්යභාර්ය ඉටුකරන යාන්ත්‍රණයයි. රටවල් හා කලාප 177 ක කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දශක 6 ක් පුරා ශ්‍රී ලංකාවේ සේවාවන් ඉටු කරයි. 

මෙම සාකච්ජාමය අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් ඒකාබද්ධ කළමනාකරණ කණ්ඩායමේ කණ්ඩායම් නායක Fadhil Bakeer Markar, ආර්ථික විශේෂඥ Dr. Vagisha Gunasekara යන මහත්ම මහත්මින් ද  සහභාගී වුහ.