Sunday, October 20, 2024
Follow Us
ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී

ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව (Asia Pacific Medical Education Conference - APMEC)  මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි.

ජනවාරි 15 ඇරඹුණු මෙම සමුළුව 21 වනදා දක්වා ක්‍රියාත්මකයි.

එහි තෙවන දිනය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඊයේ (18) පැවැත්විණ.

ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුවේ මෙවර තේමාව වන්නේ, "සෞඛ්‍ය වෘත්ත්නීගේ අධ්‍යාපනයට කෘතිම බුද්ධියේ ඇති වැදගත්කම  - ප්‍රවණතා, ගැටලු, ප්‍රමුඛතා, උපාය මාර්ග (Artificial Intelligence in Health Professions Education –Trends, Issues, Priorities, Strategies) යන්නයි.  

මෙම තේමාව සෞඛ්‍ය සේවා සැපයීම, අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා කෘතිම බුද්ධියේ (AI) වැඩෙන වැදගත්කම සහ බලපෑම පිළිබිඹු කරයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ APMEC සමුළුවෙහි  2024 හි අරමුණ වන්නේ සෞඛ්‍ය වෘත්තීන් අධ්‍යාපනය සඳහා AI හි බලය උපයෝගී කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන්ගේ අත්දැකීම්, තීක්ෂ්ණ බුද්ධිය සහ හොඳම භාවිතයන් බෙදා ගැනීමට වෛද්‍ය අධ්‍යාපනඥයින්ට සහ පාර්ශවකරුවන්ට වේදිකාවක් සැපයීම බවයි.  

මෙය ඉතාම වටිනා අවස්ථාවක් බව ද, ජාත්‍යන්තරව ගත් කළ වෛද්‍ය අධ්‍යාපනයේ ආසියාවේ ඉතා පුළුල්ම සමුළුව ලෙස දැක්විය හැකි බව ද පැවැසිය.  

ආසන්න වශයෙන් 900 දෙනෙකු පමණ සහභාගී වන මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 37 කින් නියෝජිතයන් පැමිණෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සම්පත්දායකයින් වශයෙන් 100කට අධික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින කථිකයින් මෙම සම්මන්ත්‍රණයේ දී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කරන බව ද ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ආරම්භක වැදගත්ම දෙපාර්තමේන්තුවක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දෙපාර්තමේන්තුව මේ සඳහා නායකත්වය දෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.