Sunday, October 20, 2024
Follow Us
ට්‍රම්ප් ඉදිරියෙන්

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂකයා තෝරන “අයෝවා ප්‍රාන්ත ඡන්ද විමසීම” මේ වන විට ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා මේ වන විට ඉදිරියෙන් සිටින බවයි.

77 හැවිරිදි ට්‍රම්ප්, අපරාධ චෝදනා රැසකට මුහුණ දී තිබියදී මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වේ.

අයෝවා ප්‍රදේශය පුරා දේශපාලන බලමණ්ඩලවලට ඇතුළු වන ඡන්දදායකයින්ගේ පූර්ව ඡන්ද විමසීම්වලින් ද පෙනී ගොස් ඇත්තේ, ඡන්ද සටනින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහසුවෙන් ජයගනු ඇති බවයි. හිටපු ජනාධිපතිවරයා, මේ වන විට 53,701 ක මනාප ලබා ගෙන ඉදිරියෙන් සිටී.

“ස්තූතියි අයෝවා, මම ඔබ සැමට ආදරෙයි!!!” යනුවෙන් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සදහන් කර තිබේ.

නිකුත් කොට ඇති ඡන්ද ප්‍රතිඵල අනුව, රොන් සැන්ඩීස් සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන දෙවැනි ස්ථානයේ ද නිකී හෙලී සියයට 19.1 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තුන්වැනි ස්ථානයේ ද පසු වන බව, අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විවේක් රාමස්වාමි සහ ආසා හචින්සන් ද තරඟයේ රැඳී සිටින නමුත්, ඔවුන්ට සැලකිය යුතු මනාප ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම අමෙරිකාවට මේ දිනවල බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් මැතිවරණයට යම් බලපෑමක් එල්ල වනු ඇති බව, විදෙස් විශ්ලේශකයින් පෙන්වා දී ඇත.

Dinamina