Monday, October 21, 2024
Follow Us
නවසීලන්තයෙන් ලංකාවට පැසසුම්

ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නික්ම යන නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර හමුවක් ඊයේ(02) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නුදුරේදීම යළි විවෘත කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් නවසීලන්ත මහ කොමසාරිස්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළේය.

කොවිඩ් 19 අභියෝගවලට සහ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට මුහුණ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස ප්‍රකෘති තත්වයට පැමිණ ඇති බව මහ කොමසාරිස්වරයා පැවසීය. මීට වසර 3කට පෙර, තමා ශ්‍රී ලංකාවට පැමිණෙන විට රටම කොවිඩ් වසංගතයේ බලපෑමෙන් වෙලී සිටි අතර නිරෝධායනයට ලක්ව හෝටල් කාමරයක සිටීමට සිදු වු බවත් වර්තමානය වන විට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන්නේ වත්මන් රජය අර්බුදය හොඳින් කළමනාකරණය කර ඇති නිසා බවත් මහ කොමසාරිස්වරයා සිහිපත් කළේය. පළමුව විදේශ අමාත්‍යවරයා ලෙසත් පසුව අග්‍රාමාත්‍යවරයා ලෙසත් කොළඹ සිටි කාලය තුළ අඛණ්ඩව ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ඔහු අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නවසීලන්තයට ස්තූතිය පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර,ණය ප්‍රතිව්‍යුහගතකරණය, වෙළෙඳ හා ආයෝජන, මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීම සම්බන්ධයෙන්ද තානාපති ඇපල්ටන් මහතා අග්‍රාමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළකළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.