Monday, October 21, 2024
Follow Us
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදෙන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය,  ශ්‍රී ලංකාව හඳුන්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි

අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය පරිසාධන මට්ටමක් ජනතාවට තිලිණ කරන  ලෝකයේ එක් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව හඳුන්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. 

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ  අද (03) ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනනතුරුව එහි කාර්ය මණ්ඩලය සමඟ පැවති විශේෂ සාකච්ජාමය අවස්ථාවේදීය. 

මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල්හි අඩුපාඩු සොයා බලමින් එයට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිළිවෙළ යටතේ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකර තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සතුව විශිෂ්ට යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම විශිෂ්ට මානව සම්පතක් සිටින  බවත් එම විශිෂ්ට මානව සම්පතේ කැපවීමෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වඩාත් යහපත්, සුරක්ෂිත  කිරීමට හැකි වන බවයි.   

මෙහිදී, රෝහලේ නිල ලාංජනය එළිදැක්වීම සිදු වුනු අතර රෝහලේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා තත්ත්ව ගුණාත්මක ව්‍යාපෘති වන (Kaizen සහ 5S) ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වු සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමටද ලක් කළේය. 

රෝහල් අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය  දිනේෂ් කොග්ගලගේ මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත සමරු තිලිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇදන් 300 ක ධාරිත්වයකින් ද, දැඩි සත්කාර ඒකකය ඇදන් 8 කින්ද   යුක්ත වන අතර, විශේෂ පුහුණුව ලත් විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත සෞඛ්‍ය අමාත්‍යංශය සතු එකම විශේෂිත බෝවන රෝග ප්‍රතිකාර පිළිබද ජාතික රෝහල මෙය වේ.