Monday, October 21, 2024
Follow Us
නව වසර උදාවේදී ජපානයට භූ කම්පන මාලාවක්

නව වසර උදාව සැමරීමේ උණුසුම මැකී යෑමටත් පෙර ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වීමෙන් භීතියට පත් ජනතාව හිස් ලූ ලූ අත දිව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට ආසන්න මුහුදේ ඊයේ සිදුවූ රිච්ටර් මාපකයේ 7.6ක අගයකින් යුතු ප්‍රබල භූ කම්පනයෙන් පසු සුනාමි තත්ත්වයක් පවා ඇති වූ බව වාර්තා වේ. ජපාන වේලාවෙන් ඊයේ පස්වරු 4.10ට පමණ එම භූ කම්පනය සිදුවීමෙන් පසු තවත් අතුරු කම්පන 20ක් පමණ සිදුවී ඇති අතර, නිවාස සහ ගොඩනැඟිලි මෙන්ම මහාමාර්ග රැසක් ද විනාශ වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 300ක් දුරින් පිහිටි එම ප්‍රාන්තයේ භූ කම්පනයෙන් පසු නගර රැසකට අධි අවදානම් සුනාමි රතු නිවේදන නිකුත් කර තිබූ අතර, පැය හතරකට අධික කාලයකට පසු එම අධි අවදානම් නිවේදනය සුළු සුනාමි තත්ත්වයක් දක්වා අවම කළ බව ද වාර්තා වේ. කෙසේ වුවද භූ කම්පනයෙන් පැය දෙකකට පසු සුනාමි රළ පහර මීටර් දෙකක උසකින් යුතුව ජපානයේ උතුරු වෙරළට කඩා වැදී ඇති අතර, ඒ වන විට ජනතාව ඉවත් කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් ජීවිත හානි සිදු නොවූ බවත් වාර්තා වේ.

7.6ක භූ කම්පනයෙන් පසු රිච්ටර් මාපකයේ 6.2ක භූ කම්පනයක් ද සිදුවී ඇති අතර, ඊයේ ජපාන වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ 5.0 අගයකින් යුතු භූ කම්පනයක් සිදුවීම හේතුවෙන් සුනාමි අවදානම මුළුමනින්ම ඉවත් නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. භූ කම්පනයෙන් කඩා වැටුණු නිවාස සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 6 දෙනකු බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි පැය විසිහතර අවදානම් සහිත කාලසීමාවක් ලෙස සලකමින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් රජය උපදෙස් දී ඇත. මීට වසර 12කට පෙර එනම් 2011 වසරේ නැ‍ෙඟනහිර ජපානයේ සිදුවූ රිච්ටර් මාපකයේ 9.1ක අගයකින් යුතු භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමියෙන් ජීවිත විසිදහසකට ආසන්න සංඛ්‍යාවක් මුහුදට බිලි වී තිබිණි.

 

Dinamina