Monday, October 21, 2024
Follow Us
ත්‍රස්ත ග්‍රහණයට ලක්වූ ලාංකිකයන් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බවය.

මියන්මාර රජය සමග එක්ව කටයුතු කරමින් මීට පෙර අවස්ථාවන්හිදී වරින් වර ලාංකිකයින් 32 දෙදෙනෙකු බේරාගැනීමට හැකිවූ බව ද එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

මේ අතර, මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සයිබර් අපරාධ කලාපයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පහසු කාර්යක් නොවන බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

අද දෙරණ සමග තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නවතම තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ත්‍රස්ත ග්‍රහණයේ පසුවන බවය.

සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක ග්‍රහණයට නතුව ඇතැයි පසුගිය දින කිහිපයේ "අද දෙරණින්" තොරතුරු වාර්තා කළේය.

ඔවුන්, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බව හෙළිවුණි.

අද දෙරණ මේ ඔස්සේ සිදුකළ සොයාබැලීමේදී අපට අනාවරණ වූ තවත් කරුණක් වූයේ මියන්මාරයට ආසන්නයේ පිහිටි රාජ්‍යයක් වන ලාඕසය වෙතටද මේ ආකාරයෙන්ම තායිලන්තයේ රැකියා ලබාදෙන පවසා ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමට යොදාගෙන ඇති බවය.