Monday, October 21, 2024
Follow Us
වසර 13කට පසු චීනයට දරුණු භූ කම්පනයක් ජීවිත 126ක් පණපිටින් වැළලෙයි

වයඹදිග චීනයේ ගැංෂූ ප්‍රාන්තයේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිච්ටර් මාපකයේ 6.2ක අගයක් ගත් භූ කම්පනයෙන් පුද්ගලයන් 126 දෙනකුට ජීවිත අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ බීජිං අගනුවරට කිලෝමීටර් 1,300ක් පමණ නිරිතදිගින් පිහිටා ඇති එම ප්‍රාන්තයට දැඩි හානි සිදුවූ මේ භූ කම්පනයෙන් පුද්ගලයන් රැසක් අතුරුදන් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 700කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ප්‍රධාන භූ කම්පනයෙන් පසු තවත් අතුරු භූ කම්පන 9ක් සිදු වී ඇතැයි වාර්තා වේ. ඒ ආසන්නයේ පිහිටි කිංහායි ප්‍රාන්තයේ ද පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 182 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීන යුද හමුදාව සහ පොලිසිය සමඟ එක්ව ආපදා කළමනාකරණ සේවකයන් 4,000කට වැඩි පිරිසක් විපතට පත්වූවන් බේරා ගැනීමට මෙහෙයුම් කටයුතුවලට එක්වී සිටින අතර, එම මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් කඩා වැටුණු ගොඩනැඟිලි සහ නිවාස සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමට අතිරේක සේවකයන් අවශ්‍ය බව නිවේදනය කර තිබේ.

දහස් සංඛ්‍යාත මෙහෙයුම් සේවකයන් වහාම එම ස්ථානයට පිටත් කරන ලෙස චීන ජනාධිපති ඉහළ නිලධාරීන්ට නියෝග කර ඇති අතර, ශීත කාලය උදාවී ඇති බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ට වඩා අඩු අගයක පිහිටීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ.

වසර 2010 දී යූෂු ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයන් 2,700ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඉන් අනතුරුව චීනයේ සිදුවූ දරුණුතම භූ කම්පනය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Dinamina