Monday, October 21, 2024
Follow Us
බෞද්ධ වන්දනා චාරිකා ප්‍රවර්ධනය කිරීමට පකිස්ථානයේ සහය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නික්ම යන පකිස්ථාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි අතර හමුවක් ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී  පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ධූර කාලය තුළ තමාට ලබා දුන් විශිෂ්ට සහයෝගය පිළිබඳව පකිස්ථාන මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.

මෙහිදී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, විශේෂයෙන්ම බෞද්ධ වන්දනාකරුවන්ගේ පකිස්ථාන සංචාර පිළිබඳව මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය. ශ්‍රී ලාංකිකයන් සඳහා බෞද්ධ වන්දනා ස්ථාන විවෘත කිරීමට පකිස්ථානය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යවරයා, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, මාධ්‍යවේදීන් සහ විද්වතුන් සඳහා පසුගිය වසරේදී සංරක්ෂිත බෞද්ධ උරුමයන් නැරඹීම සඳහා සංචාරයක් සංවිධානය කිරීම පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට ස්තුතිය පුද කළේය. මහ කොමසාරිස්වරයා පැවසුවේ එවැනි තවත් සංචාරයක් ලබන වසරේ මුල් භාගයේ පැවැත්වෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පකිස්ථානයට ස්තූතිය පුද කළේය. ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පිරිනැමෙන පකිස්ථාන ශිෂ්‍යත්ව වැඩි කිරීම සම්බන්ධයෙන් ඔහු පකිස්ථාන තානාපතිවරයාට කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා පකිස්ථාන ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටි අතර  මේ පිළිබඳව ආයෝජකයින්ගේ අවධානයට යොමු කරන බවට මහ කොමසාරිස්වරයා පොරොන්දු විය.

 මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධිර සහ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය හා අධ්‍යාපන නිලධාරී අදීල් සත්තාර් යන  අය ද එක්ව සිටියහ.