Monday, October 21, 2024
Follow Us
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සභාපති ධූරයක් 

ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය  ගරු ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා (08) තේරි පත්විය.

ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු මාගඩ් මෝෂ්ලේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, හෙක්ටර් අප්පුහාමි සහ අරවින්ද කුමාර් යන මහත්වරු මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් විය. 

නි‍යෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ලේකම්ධුරයට පත් කරන ලද අතර, සහකාර ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු සහ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු පත් කෙරිණි.

ශ්‍රී ලංකා - ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 66ක් සම්පූර්ණ වන අවස්ථාවක දෙරට අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ සතුටුවන බව මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.  මෙම මිත්‍රත්ව සංගමය තුළින් ශ්‍රී ලංකා ඊජිප්තු සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට හැකිවන බව මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මාගඩ් මෝෂ්ලේ මහතා නව පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පවතින සුහදත්වය වර්ධනය කර ගැනීම අපේක්ෂා කරන බව අවධාරණය කළේය.

රැස්වීමේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය  මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය සදහා තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය ස්තූතිය පළ කළාය.  ඉතා පොහොසත් ඉතිහාසයක්, කලාවක් සහ කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් උරුම  රටක් වන ඊජිප්තුව සමග සබඳතා තර කර ගැනීමට තමා අපේක්ෂා කරන බව ඇය පැවසීය. එසේම දෙරට අතර සබඳතා වර්ධනයට මෙරට ඊජිප්තු තානාපතිවරයා දක්වන කැපවීම ඉතා අගය කරන බවද අභිනව සභාපතිවරිය මෙහි දී පැවසුවාය.