Monday, October 21, 2024
Follow Us
 "දකුණු ආසියාවේ රටවල පෙර සූදානම ඔස්සේ තිරසාර ජාතික අපේක්‍ෂාකාරී ක්‍රියාමාර්ග සඳහා මුල පිරීම"  වැඩමුළුව ඇරඹේ

මහජනතාව දැනුවත් කිරීම, විධිමත් අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් යනු රටක ආපදාවන්ට මුහුණ දීමේ හැකියාව ගොඩ නැංවීමේ මුලික පදාර්ථයන් වේ. සාර්ක් (SAARC) රටවල් සමඟ අපගේ සහයෝගීතාවය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පමණක් නොව එය අසීරු අවස්ථාවන් වලදී අප ලබා ගත් සාමුහික අත්දැකීම් තුළින් ඇති වූ බැඳීමකි.

ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC), Bill & Melinda Gates පදනම, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව, රටක් වශයෙන් අප අපගේ ආපදා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කළා පමණක් නොව, කලාපීය වශයෙන් අනෙකුත් රටවල් සමග ද ඔරොත්තු දීමේ බැඳීමක් වර්ධනය කර ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (13) කොළඹ මැරියට් හෝටල් පරිශ්‍රයේදී ඇරඹි "දකුණු ආසියාවේ රටවල පෙර සූදානම ඔස්සේ තිරසාර ජාතික අපේක්‍ෂාකාරී ක්‍රියාමාර්ග සඳහා මුල පිරීම" යන මැයෙන් පැවැත්වෙන දෙදින කලාපීය දියත් කිරීමේ සහ ප්‍රතිපත්ති සංවාද වැඩමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න මහතා කියා සිටියේ ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම අද වන විට ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ අන්තර්ගත වූ පුළුල් පරාසයක් දක්වා විකාශනය වී ඇති බවයි. මෙම ක්‍රියාවලිය හුදෙක් මාර්ගෝපදේශ මාලාවක් නොවන අතර එය සුරක්ෂිත අනාගතයක් ගොඩනැංවීමේ අපගේ සාමූහික අධිෂ්ඨානය පිළිබිඹු කෙරෙන ප්‍රබල සාක්ෂියක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

USAID, SNAP සහ ADPC විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩමුළුවට සාර්ක් රටවල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සංවිධානවල නියෝජිතයින් රැසක් සහභාගී වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික),  ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානයේ ප්‍රතිචාර සහ ප්‍රතිසාධනය සඳහා සූදානම් වීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිසිර මදුරප්පෙරුම මහතා, හදිසි ප්‍රතිචාර පිළිබඳ ගෝලීය සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය Valerie Bemo මහත්මිය, USAID හි මානුෂීය ආධාර සඳහා වන කාර්යාංශයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ ආචාර්ය Dustin Shiau මහතා සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානයේ තාක්ෂණික ප්‍රධානී John Abo මහතා ද මෙම ආරම්භක අවස්ථාවට සහභාගී වූහ.