Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර 66 වසරක සබඳතා වෙනුවෙන් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර 66 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමරු මුද්දරය අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මාගඩ් මෝෂ්ලේ යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසට පිළිගන්වන ලදී.

මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ ඊජිප්තුව 1957 වසරේදී ශ්‍රී ලංකාව තුළ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ පළමු අරාබි රට වශයෙන් සුවිශේෂි ස්ථානයක් ගන්නා බවයි. දෙරට අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ද්වීපාර්ශවීය සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මාගඩ් මෝෂ්ලේ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන දෙරට අතර නොබිඳුනු මිත්‍රත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. එසේම 66 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මීට සමගාමීව ඊජිප්තු රජය විසින් ද සමරු මුද්දරයක් නිකුත් කරන බව තානාපතිවරයා පැවසීය.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ , නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු ද අරාබි රටවල් කිහිපයක තානාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති එම්.ආර්.පී. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ යන මහත්වරු ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.