Monday, October 21, 2024
Follow Us

දකුණු ආසියානු කලාපීය රටවල තරුණ පරම්පරාව අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ රැඩිකල්කරණය වීම, සුවිශේෂී අවධානයක් අවශ්‍ය කෙරෙන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇත. අධ්‍යාපනය, අන්තර් සහයෝගීතාවය, සමාජ-ආර්ථික සංවර්ධනය සහ නුතන තාක්‍ෂණය වගකීමෙන් යුතුව භාවිතයට ගැනීම තුළින්, අන්තවාදී අදහස්වලට එරෙහි වීමට සහ වඩාත් සාමකාමී ප්‍රවේශයක් ඔස්සේ කලාපයේ රටවල් අතර ශක්තිමත් බැඳීමක් මෙන්ම සමෘධිමත් අනාගතයක් සඳහා මග පෑදීමට අපගේ තරුණයන් සවිබල ගැන්වීමට අපට හැකිවේ.

Search for Common Ground සංවිධානය මගින් “Search for Common Ground with Meta (Facebook), Skype, Twitter and Messenger” යන තේමාව යටතේ ඊයේ (දෙසැ. 07) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

විෂය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, තරුණ රැඩිකල්කරණය බොහෝ විට සමාජ-ආර්ථික විෂමතා, දේශපාලන අස්ථාවරත්වය, ආන්තිකකරණය සහ අධ්‍යාපනය හෝ අවස්ථා හිඟකම යන සාධකවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් වන අතර, එය හුදු ආරක්‍ෂක පියවරයන්ගෙන් ඔබ්බට ගිය එකක් වන බවයි. තවද, මේ හේතුවෙන් රැඩිකල්කරණයට ආමන්ත්‍රණය කිරීම සඳහා බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සමාජ මාධ්‍යයන් මේ වන විට සමාජ ජාතීන් දක්වා පරිණාමය වී ඇති අතර, එමඟින් ලොව පුරා දැවැන්ත බලපෑමක් ඇති කළ හැකිය. අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සමාජ ආරක්‍ෂාව අතර ඇත්තේ සියුම් රේඛාවක් බඳු පරතරයක් පමණක් බවත්, ආරක්‍ෂිත මෙවලම් සහ ක්‍රියාමාර්ග නිසි ලෙස භාවිත කිරීමේදී සන්නිවේදන සේවා සපයන්නන්ට විශාල වගකීමක් පැවරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.