Monday, October 21, 2024
Follow Us
රුමේනියාවේ ජාතික දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් 

දෙසැම්බර් පළමුවැනිදාට යෙදෙන රුමේනියාවේ ජාතික දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ රුමේනියානු  තානාපති ආචාර්ය වික්ටර් චියුජ්ඩියා (Victor chiujdea) මහතාගේ ආරාධනයෙන් එක්වූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක් විය.

උත්සවය ඇමතූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාව හා රුමේනියාව අතර 1957 වසරේ පටන් පැවතෙන වසර 66ක් පමණ පැරණි  මිත්‍රත්වය සහ  දිගුකාලීන සබඳතාව විශේෂයෙන් අගය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වෙනුවෙන් දෙරටේම රජයන් සුවිශේෂී කැපවීමකින් යුතුව කටයුතු කර තිබෙනවා. මාස කිහිපයකට පෙර බුකාරෙස්ට් හි ආරම්භ කෙරුණු  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව මාගේ විශ්වාසයයි.

එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර නිව්යෝර්ක් නුවරදී සිදු වූ හමුව තුළින් දෙරටේම දේශපාලන සබඳතාවල අන්‍යෝන්‍ය ශක්තිමත් බව තවදුරටත් තහවුරු විය. ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය අපේ රටවල් අතර දේශපාලන සබඳතා තවදුරටත්සවිමත් කිරීම සහ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් පවතී.

රුමේනියාව විදේශ රැකියා ක්ෂේත්‍රයේ දී  ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන ක්‍රියාකාරී සහයෝගිතාවය මේ මොහොතේ විශේෂයෙන් අගය කිරීමට මා  කැමතියි. කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක්‌ වශයෙන් 2016 වසරේ සිට ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත්  සුරක්ෂිත රැකියා සපයන රටක් වශයෙන්   එහි සාර්ථකත්වයට දායක වීමට හැකි වීම ආඩම්බරයට කරුණක්‌ වේ.

දෙරට අතර දැනට සාකච්ඡා කරමින් පවතින කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම තුලින් එම අංශයේ ආයතනික මට්ටමින් ව්‍යුහාත්මක සහයෝගීතාව සඳහා තවත් ශක්තිමත් පදනමක් සැකසෙනු ඇත.

යුරෝපා සංවිධානයේ Erasmus අරමුදල් යටතේ Transilvania Braşov විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර පවතින අධ්‍යයන සහ පර්යේෂණ සහයෝගීතාවය දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් අතිශය ප්‍රයෝජනවත් වේ.

එමෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සහ අනෙකුත් අදාළ ආයතනවල ශ්‍රී ලංකා නිලධාරීන් සඳහා ජාතික දූෂණ විරෝධී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සපයනු ලබන රුමේනියානු වෘත්තීය සහ තාක්ෂණික පුහුණුව විශේෂයෙන් අගය කළ යුතුවේ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා මහතා, විදුර වික්‍රමනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී  යාදාමිනි ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම මෙරට වෙසෙන රුමේනියානු ජාතිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.