Monday, October 21, 2024
Follow Us
ලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් යළි ශ්‍රී ලංකාවට 

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දීම සිදු කළේය.

නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපති HE Bonnie Harbach මහත්මිය සහ Jan de Hond මහතා විසින් මෙම කෞතුක භාණ්ඩ සහිත බහාලුම්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාර දීම සිදු කළහ.

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රාජකීය රන් පිහිය, රාජකීය රිදී කස්තානය, මහ තුවක්කු දෙකක් මෙම කෞතුක භාණ්ඩ අතර පවතින අතර, කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව මේ වන විට තැන්පත් කර ඇති අතර, 2023 දෙසැම්බර් 05 වන දින පෙ.ව 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් මඟින් මහජනතාව වෙත මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද සඳහන් කළේ ය.

වසර සිය ගණනකට පෙර බලහත්කාරයෙන් අපෙන් රැගෙන ගිය උරුමයන් නැවත අපිට ලබා ගන්න අද හැකිවුණා. අපේ රටේ අභිමානය, අයිතිය සහ අතීත උරුමය අනාගතයට කියා පැමේ වැඩ පිළිවෙල මෙතැන් සිට ආරම්භ වෙනවා. මෙම කාර්යයේ දී ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපතිය ඇතුළු කාර්යය මණ්ඩයට විශේෂ ස්තුතියක් සිදු කළ යුතුයි. ඔවුන්ගේ සහාය නොලැබුණා නම් මේ අපේ උරුමයන් නැවත ශ්‍රී ලංකාව වෙත ආපසු ගෙන ඒමට නොහැකි වීමට ඉඩ තිබුණා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) නිශාන්ති ජයසිංහ, අතිරේක ලේකම් (පාලන වැඩබලන) තිලක් නන්දන හෙට්ටිආරච්චි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.