Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට ජපානයෙන් ප්‍රදාන ආධාර

“සියලු රටවල දේශගුණය ආශ්‍රිත උපද්‍රව සහ ස්වභාවික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කිරීම” තිරසාර සංවර්ධන ඉලක්කයකි. කාලගුණික තත්ත්වයන් පුරෝකථනය කිරීම සහ කාලගුණ තොරතුරු බෙදා හැරීම සඳහා ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම සංදර්භය තුළ පූර්ව අවශ්‍යතාවයකි.

ඉහත කරුණ සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීම සඳහා ජපන් රජය විසින් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතය හරහා ජපන් යෙන් මිලියන දෙදහස් පන්සිය තුනක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,422)ප්‍රදාන සහයෝගීතාවයක්2017 වර්ෂයේ දී ලබාදෙන ලදී. මෙම ප්‍රදාන සහයෝගීතාවයේ අරමුණ වූයේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රචාරය කරන කාලගුණ අනාවැකි සහ තොරතුරු වැඩිදියුණු කිරීම තුළින් ව්‍යසනකාරී කාලගුණික සංසිද්ධීන් හේතුවෙන් ඇති වන උපද්‍රවවල අහිතකර බලපෑම් ඵලදායී ලෙස අවම කිරීම වේ.

මෙම අවස්ථාවේ දී,ජපාන රජය විසින් විශේෂයෙන් සම්ප්‍රදායික සන්නිවේදනය අඩාල විය හැකි අධික වර්ෂාව, අකුණු, නාය යෑම් වැනි දරුණු ආපදා අවස්ථාවන්හිදී වුවද, විශ්වාසනීය ලෙසදත්ත සන්නිවේදනය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වනඉතා කුඩා විවර පර්යන්ත සන්නිවේදන පද්ධතියක් (VSAT) ලබාදීම සඳහා ජපන් යෙන් මිලියන එකසිය හැටක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 335 ක) පරිපූරක ප්‍රදාන ආධාරයක් ලබාදීමට එකඟ වී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තිත ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීමට මෙම ප්‍රදාන ආධාරය මහඟු අනුග්‍රහයක් වනු ඇත.

ඉහතප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම, වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති අතිගරු මිසුකොෂි හිදෙයකි මහතා විසින් ද, ප්‍රදාන ගිවිසුමට අත්සන් කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා මහතා විසින් ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 22 වන දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.