Monday, October 21, 2024
Follow Us
අයිසීසී මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ගත් විශේෂ තීරණ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය අද (21) තීරණය කර තිබේ.

මෙලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.

කෙසේවෙතත් 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ලවූ චෝදනා සහ ඊට අදාළ විගණකාධිපති වාර්තාවක් පදනම් කරගනිමින් ඉකුත් නොවැම්බර් 6 වනදා එහි පාලනය අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත්තේය.

කෙසේවෙතත් ඊට පසුදිනම එම අතුරු පාලක කමිටුව සහ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගොනුකළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි. 

මෙවන් වාතාවරණයක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම කවුන්සිලය නොවැම්බර් 10 වනදා පියවර ගත්තේය.

ඉන් පසුව මතුවූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබුණි.

අනතුරුව ජනපතිවරයා හැකි ඉක්මනින් ICC තහනම ඉවත් කරගැනීම සඳහා කටයුතු කරන ලෙස මේ පිළිබඳ පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සභාපති අලි සබ්රි මහතා වෙත උපදෙස් ලබාදී තිබුණි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ICC මහා සභා රැස්වීමට සහභාගි වුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවකින් පසු ICC අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම කවුන්සිලය නිවේදනය කළේය.

 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමටද අහමදාබාද් හිදී පැවති අයි.සී.සී මහා සභා රැස්වීමේදී තීරණය කර තිබුණි.

 

කෙසේවෙතත් ජාත්‍යන්තර සාමාජිකත්වය අහෝසි වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.

 

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාම සඳහා පාලනයකට යටත්ව අරමුදල් ලබාදීමට ද එහිදී තීරණය වී ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ක්‍රික්බස් වෙබ් අඩවියට සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට සාමාන්‍ය පරිදි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබාදෙන ලෙස ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවෙන් ඉල්ලීමක් කළ බවය.

 

එම ඉල්ලීමට විධායක කමිටුවේ සියලු සාමාජිකයින් එකඟ වූ බවත්, 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර තිබේ.