Monday, October 21, 2024
Follow Us
චීනයේ රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් මහත්මිය සහ කථානායක අතර හමුවක්

චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිකින් (Shen Yiqin) මහත්මිය ප්‍රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

මෙම අවස්ථාව සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා එක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙනු ලබන සහයෝගය මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය විසින් ලබාදෙන සියලු ආකාරයේ සහයෝගීතාවන් පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. 

එසේම, කොළඹ වරාය නගරය ඇතුළු චීනයේ සහයෝගයෙන් මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසූ කථානායකවරයා දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.    

මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යිකින් මහත්මිය, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීම ඇතුළු අනෙකුත් හදිසි මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍යවන මූල්‍ය සහයෝගය ලබාදීමට චීන රජය බලාපොරාත්තු වන බව සඳහන් කළාය.

එමෙන්ම, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ ජනතාව අතර සම්බන්ධතා වර්ධනය කිරිම තුළින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගීතාවයේ වර්ධනය ඇති වන බවත් එමගින් දෙරට අතර පවතින සමීප සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් ශෙන් යිකින් (Shen Yiqin) මහත්මිය පැවසුවාය. 

විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ශ්‍රී ලංකාව තුළ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය දූත පිරිස දැනුවත් කළ අතර සංසදයේ ඉදිරි කටයුතු සඳහා චීනයේ සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියාය.