Monday, October 21, 2024
Follow Us
ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ නවසීලන්තය සමග පැවැති තරගය ලකුණු 70කින් ජය ගනිමිනි.

ඊයේ (15) තරගය ආරම්භයට පෙර මුම්බායිහි, වංකඩේ ක්‍රීඩා පිටියේ තණතීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවිය.

තරගය 7 වැනි තණතීරුවේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය 6 වැනි තණතීරුවට මාරු කළ බව විදෙස් මාධ්‍යවල සඳහන්. 

මෙම 6 වැනි තණතීරුවේ තරගාවලියේ තරග 2ක් පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලකුණු 302ක ජයක් ලැබූ තරගයද ඊට ඇතුළත් වේ.

මෙම තණතීරුවේ එංගලන්තය සමග පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 229කිනි. 

ඩේලිමේල් පුවත් සේවය වාර්තා කළේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවසරයකින් තොරව එලෙස තණතීරුව වෙනස් කළ නොහැකි බවයි. 

අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 47යි.

ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වන විට ශුබ්මන් ගිල් ලකුණු 79ක් රැස් කරගෙන සිටියේ ය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 117ක්.

50 වැනි එක්දින ශතකය රැස් කළ කෝලි එක්දින පිටියේ වැඩිම ශතකලාභියා ලෙස වාර්තා අතරට එක්විය.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙසත් කෝලි වාර්තා අලුත් කළේ ය.

ඒ අනුව බිඳ වැටුණේ 2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 673ක් රැස් කරමින් සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වාර්තාවයි. 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රෙයාස් අයියර් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමග ලකුණු 105ක් රැස් කිරීමට සමත් විය.

නියමිත පන්දුවාර 50 අවසානයේ ඉන්දියාව කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 397ක් රැස් කළේ ය.

ඉන්දියාව ලබා දුන් ලකුණු 398ක ඉලක්කයකින් නවසීලන්ත පිළිතුරු ඉනිම ඇරඹුවේ ඩෙවෝන් කෝන්වේ සහ රචින් රවීන්ද්‍ර.

ඔවුන් දෙදෙනාම ලකුණු 13 බැගින් ලබා සිටියදී දවා ගැනීමට මොහොමඩ් ශාමි සමත් විය.

තුන්වැනි කඩුල්ලට එක්වූ නායක කේන් විලියම්සන් සහ ඩැරල් මිචෙල් අතර සබඳතාවය ලකුණු 181ක්.

විලියම්සන් ලකුණු 69ක් රැස් කළේ ය.

ඩැරල් මිචෙල් අද වාර්තා කළේ 6 වැනි එක් දින ශතකයයි.

Aruna