Monday, October 21, 2024
Follow Us
ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ සහාය අපේක්ෂා කරනවා

පරිවර්තනීය අධ්‍යාපන ක‍්‍රියාදාමයක් සඳහා නවෝත්පාදනයෙන් බලගැන්වෙන රටක් ලෙස අනාගතයට මුහුණ දීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇති අභිප‍්‍රාය සහ එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අනාදිමත් කාලයක සිට චීනය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චීන රජයට සිය කෘතවේදීත්වය ද පළ කළේය.

ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ මහා සම්මේලනයේ 42 වැනි සැසිවාරයට සහභාගීවූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මහජන චීන සමූහාණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය හ්වායි ජින්පෙං මහතා අතර පැවති විශේෂ හමුවක දී මේ අදහස් පළ කළ අතර, මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ග සහ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද එහි දී සාකච්ඡාවට ලක්විය.


සංවර්ධන ප‍්‍රයත්න හමුවේ ශ‍්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති අභියෝග සහ ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ලබාගත හැකි විසඳුම් පිළිබඳවත්, විශේෂයෙන් ම ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදිය හැකි පරිදි මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත්, දෙරට අතර සමීප සබඳතා ඔස්සේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක පිළිබඳවත් මෙහි දී දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.


තවද පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා චීනයේ හුවාවි ආයතනය සමඟ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද, චීන අධ්‍යාපන අමාත්‍යවරයා සමග සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ශ‍්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා උපාය මාර්ගික සහකරුවකු ලෙස හුවාවි ආයතනය ඉදිරිපත්ව සිටින බවද පැවසීය.


ඒ සඳහා තාක්ෂණික උපදේශ සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත් තාක්ෂණික නිලධාරී පුහුණුව සහ යටිතල පහසුකම් සැපයීමටත් චීන ජනරජය වෙනුවෙන් හුවාවි ආයතනය ලබාදෙන සහයෝගය අතිශයින් අගය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.