Monday, October 21, 2024
Follow Us
පෘතුගාල සංචාරකයින් ආකර්ෂණය කර ගැනිමට නව වැඩසටහනක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පෘතුගාල තානාපති  Joao Manuel Mendes de Almeida මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස පෘතුගාල ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී යෝජනා කළේය.

පෘතුගාල සංචාරකයින් ඉන්දියාවට ආකර්ශනය කර ගැනීමට ක්‍රියාත්මක කළ ‘ලිස්බන් සිට ගෝවා දක්වා 19 වැනි සියවසේ නැඟෙනහිර ගමන’ වැනි වැඩසටහනක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව ද පෘතුගාලයේ හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඇති හෙයින්, පෘතුගාලයේ ලිස්බන් සිට ගාල්ල දක්වා එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි බවද  පෙන්වා දුන්නේය.

මීට විසි වසරකට පෙර තමන් ද සංචාරකයෙකු ලෙස ගාල්ලට පැමිණි බව සිහිපත් කළ තානාපතිවරයා, පෘතුගාල සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට අවශ්‍ය සියලු සාධක ශ්‍රී ලංකාව සතු බවද කීවේය.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර කුළු බඩු වැනි ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සදහා පෘතුගාලයේ වැඩි වෙළෙඳපොළ  අවස්ථාවක් ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.