Tuesday, October 22, 2024
Follow Us
ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා අතර පැවැත්වූ 33 අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමා වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම පසුගියදා කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර්ථකව පවත්වා තිබේ.

දෙරටේ නාවික හමුදාවන් සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර අන්‍යෝන්‍ය අව‍බෝධය වර්ධනය කර ගැනීම තුළින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම උදෙසා මෙම රැස්වීම වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ අනුව, 33 වන වරට පවත්වන ලද මෙවර රැස්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදා දූත පිරිස ඉන්දියාවේ තමිල්නාඩු සහ පුදුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් රවි කුමාර් දින්ග්‍රා (Rear Admiral Ravi Kumar Dhingra – Flag Officer Commanding Tamil Nadu and Puducherry Naval Area) ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වන ලදී.

මෙම රැස්වීමේදී දෙපාර්ශවය විසින් දෙරටේ මුහුදු සීමාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අනයෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සහ මීට පෙර පැවති අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම් තුලදී සාකච්ඡා කරන ලද කරුණු වලට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.

මෙම රැස්වීම සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිමල් රණසිංහ, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අරුණ වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) මේ සඳහා සහභාගී විය. එමෙන්ම, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.