Tuesday, October 22, 2024
Follow Us
ආර්ථික සංවර්ධනය සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය අභිවෘද්ධිය සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යෑං වෙයි ෂූ (H.E. yanwei zhu) මහතා පවසයි. මෙරටට අවශ්‍ය ඕනෑම ක්ෂත්‍රයකට අවශ්‍ය ආධාර උපකාර කිරීමට චීනය සූදානම් යැයි ද ඒ මහතා පැවසුවේය.

නියෝජ්‍ය තානාපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඉකුත්දා නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණ සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දකිමිනි.

අස්ගිරි මහ විහාරයට පැමිණි චීන නියෝජ්‍ය තානාපතිවරයා, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණියේය. එහිදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා සුහඳ සාකච්ඡාවක නිරතවූහ.
චීනය හා ශ්‍රී ලංකාව අතර වසර දෙදහසක පමණ පැරණි නොබිදෙන සබඳතාවක් ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය තානාපතිවරයා, ෆාහියන් භික්ෂුව මෙරටට වැඩම කොට මෙරටින් බුදුදහම පිළිබඳ බොහෝ දහම් කරුණු චීනයට ගෙන ගිය බව කීවේය.
බෞද්ධ ධර්මය හා බැදුණූ දීර්ඝ මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මල්වතු හා අස්ගිරි දෙපාර්ශවයේ මහා සංඝරත්නයේ අවවාද ආශිර්වාද තව දුරටත් අපේක්ෂා කරන බව ද චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යෑං වෙයි ෂූ (H.E. yanwei zhu) මහතා තව දුරටත් සඳහන් කළේය.
මෙහිදී නියෝජ්‍ය තානාපතිවරයාට ආශිර්වාද කළ මහා නායක හිමිදෙපල දෙපොළ සඳහන් කළේ ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් වූ සෑම අවස්ථාවකම චීනය ඉදිරිපත්ව ගැටලු විසඳාගැනීම සඳහා සහයෝගය ලබා දීම ඉතාමත් අගය කරන බවය. එම සහයෝගය අනාගතයේදීද අපේක්ෂා කරන බවද මෙහිදී නාහිමිවරු දෙපොළ වැඩිදුරටත් සඳහන් කළහ.