Tuesday, October 22, 2024
Follow Us
ආයෝජන ගැන සාකච්ඡාවක්

වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගිය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා WTA (World Travel Awards) හි නිර්මාතෘ සහ සභාපති ග්‍රැහැම් කුක් මහතාගේ ආරාධනය මත රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.

WTA යනු වසර 30 කට පෙර 1993 දී පිහිටුවන ලද සංචාරක කර්මාන්තයේ වඩාත්ම කීර්තිමත් සම්මාන වැඩසටහන වන අතර එය සංචාරක, ගුවන් සේවා, හෝටල් සහ ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල වඩා වැදගත්ම උත්සවය ලෙසයි සලකන්නේ.

මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා ද සහභාගි විය.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සමුළුව අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා විසින් සංවිධාන කරන ලද ආයෝජන සාකච්ඡා 3කට සහභාගී වී තිබේ.

එමෙන්ම මෙම සංචාරය අතරතුර එරට කලීජ් ටයිම්ස් පුවත්පත විසින් සිදු කළ සාකච්ඡාවකට ද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී විය.
මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2022 මැද භාගයේ දී ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් සාර්ථකව ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් වී ඇති බවයි.