Tuesday, October 22, 2024
Follow Us
ක්‍රිකට්වලට එහා ගිය ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැටුම අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

 තරගය දෙස වැඩි අවධානයක් යොමුව ඇත්තේ දෙරට අතර පවතින භූ දේශපාලනික එදිරිවාදිකම් හේතුවෙනි.තරගය ජය ගැනීම සඳහා කණ්ඩායම් දෙකම වැඩි උනන්දුවක් දක්වන්නේ එය සිය ක්‍රිකට් දිවියේ ලබාගන්නා ජයග්‍රහණ අතර ඉහළින්ම කැපී පෙනෙන එකක් බවට පත්වීම අනිවාර්ය කරුණක් වීම නොරහසක්.

 මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් කරමින් උළෙලක් නොපැවති අතර, මෙවර තරගාවලියේ 12 වන තරගය වන ඉන්දු - පාකිස්තාන තරගයට සමාරම්භක උළෙලක් පැවැත්වීමටයි තරග සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

ඊට අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට සූදානම් කර ඇති අතර, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී ආරක්ෂාවද තර කර තිබීම විශේෂත්වයක්.

ඊට වර්ණවත් වැඩසටහන් රාශියක් ඇතුළත් කර ඇති අතර ප්‍රේක්ෂකයින් පිනවීමට සුපිරි ගායකයින් කිහිපදෙනෙකුම සහභාගීවීමට නියමිතව ඇත. ඒ අතරට ඉන්දියාවේ මේ දිනවල වඩාත්ම ජනප්‍රිය ගායකයින් වන අර්ජිත් සිං, ශංකර් මහාදේවන් සහ සුක්වින්දර් සිං ඇතුළත් .

මීට අමතරව විශේෂ ආරාධිතයින් ලෙස මෙවර ලෝක කුසලානයේ ගෝලීය තානාපති, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්, ඉන්දීය සුපිරි චරිතාංග නළුවන් දෙදෙනෙකු වන අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත් සහභාගී වීමට නියමිතයි.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන්, හතරක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාව වීම විශේෂත්වයක්.

එක් තරගයක් පමණක් තීරණයක් නොමැතිව අවසන්ව තිබේ.

එසේම ඩෙංගු වැළඳීම හේතුවෙන් ලෝක කුසලානයේ පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ක්‍රීඩා කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 එසේම, ඉන්දීය කණ්ඩායමේ ජස්ප්‍රීට් බුම්රා සහ පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රීඩි කෙරෙහිද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

-Aruna